Raya and the Last Dragon (2021) Sinhala Subtitle
ඉස්සර කාලේ “කුමන්ද්‍රා” (Kumandra) කියලා ලස්සන රටක් තිබුණා. ඒ කාලේ මිනිස්සුයි, මකරුයි හරිම එකමුතුවෙන් තමයි හිටියේ. ඔහොම ඉන්නකොට “ඩෲන්” (Druun) කියලා හරිම අමුතු අඳුරු බලවේගයක් ඇවිත් මිනිස්සුන්වයි, මකරුන්වයි ගල් කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ “සිසු” (Sisu) කියන අන්තිම මකරා තමන්ගේ මුළු බලයම එකතු කරලා “මැණිකක්” හැදුවා. ඒ මැණිකෙන් ඩෲන්ලව පන්නලා දාලා මිනිස්සුන්ව බේරගත්තා, හැබැයි මකරුන්ව ආයේ තිබ්බ විදිහට පණ ගන්න බැරි වුණා.
ඊට අවුරුදු 500කට පස්සේ, මේ කුමන්ද්‍රා රට කොටස් පහකට බෙදිලා එක එක්කෙනා මරාගන්න තත්ත්වෙට පත්වුණා. රායාගේ තාත්තා බැලුවේ මේ හැමෝවම ආයේ එකතු කරන්න. හැබැයි අනිත් අයගේ තණ්හාව නිසා අර මකර මැණික කෑලි පහකට කැඩිලා ගියා. ඒත් එක්කම ආයෙමත් අර ඩෲන්ලා ඇවිත් රායාගේ තාත්තා ඇතුළු ගොඩක් අයව ගල් කරලා දැම්මා.
අවුරුදු හයක් තිස්සේ රායා තනිවම තමන්ගේ ටුක් ටුක් (Tuk Tuk) කියන සතා එක්ක රට වටේම යන්නේ අර මැණික් කෑලි ටික එකතු කරලා තාත්තව බේරගන්න. ඔය අස්සේ එයාට අන්තිම මකරා වෙන “සිසු”ව මුණගැහෙනවා. හැබැයි සිසු කියන්නේ රායා හිතපු තරම් ලොකු හයියක් තියෙන මකරෙක් නෙවෙයි, එයා හරිම හිත හොඳ, පොඩ්ඩක් විහිළුකාර චරිතයක්.
කතාවේ ඉතුරු ටික යන්නේ රායායි සිසුයි එකතු වෙලා අනිත් ගෝත්‍රවලින් අර මැණික් කෑලි හොරකම් කරන විදිහයි, ඒ අතරේ හම්බෙන අමුතු යාළුවෝ සෙට් එකයි එක්ක යන ගමන. හැබැයි ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ රායාගේ පරණ යාළුවෙක් වෙච්ච නාමාරි (Namaari) එක්ක තියෙන තරහ.
අන්තිමේදී ඩෲන්ලව පරද්දන්න නම් මැජික් විතරක් මදි, එකිනෙකා කෙරෙහි තියෙන “විශ්වාසය” ඕන කියලා රායා තේරුම් ගන්නවා. රායා නාමාරිව විශ්වාස කරලා තමන්ගේ මැණික් කෑල්ල දෙනවා. අන්තිමේදී හැමෝම එකතු වෙලා ඩෲන්ලව විනාශ කරලා, ගල් වෙච්ච හැමෝටම ආයේ පණ දෙනවා. මකරුත් ආයේ පණ ලබාගෙන කුමන්ද්‍රා රට ආයෙත් එකම පවුලක් වගේ එකතු වෙනවා.