George of the Jungle (1997) Sinhala Subtitle
කියන්න කණගාටුයි, දන්නවනෙ ලංකාවේ ෆිල්ම් 10ක් ආවොත් 8ක් විතර කොපිනෙ. ඔයාලා හැමෝම වගේ දන්නවා නේද ටෙනිසන් කුරේ රඟපෑ “වැඩ බැරි ටාසන්”. හැමෝම වගේ බලලත් ඇති. ඉතින් මේ පාර ඔයාලට අරගෙන ආවේ ඒකෙ ඉංග්‍රීසි සිනමා පටය. මගේ පළමු කොමඩි උපසිරැසිය. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ වගේ පට්ටම පට්ට සිනා සාගරයක් ඒ තමයි “වනාන්තරයේ ජෝර්ජ්” හෙවත් George of the Jungle. හැබැයි ඒක මේකෙ කොපිය මිසක් මේක ඒකෙ කොපිය නෙමෙයි හොඳද. පටලවගන්න එපා. වැඩ බැරි ටාසන් චිත්‍රපටයේ සමහර කැලේ දර්ශන වලට යොදාගෙන තිබුනේ ඉංග්‍රීසි ෆිලුමේ දර්ශනම තමයි. ඒක බලනකොට නම් ඇත්තටම හිරිකිතයක් දැනුනා. කොහොමත් අපේ සිනමා කර්මාන්තෙ වැඩිපුරම ඉන්නෙ ‘වැඩ බැරි ටාසන්ලා’ තමයි. හැමෝම නෙමේ. ලෝකෙටම ගහන්න පුලුවන් සයිස් එකේ අග්‍රගණ්‍ය කලාකරුවොත් අපිට ඉන්නවා. ඒක සතුටක්. අපි අපේ කතාවට යමුකෝ.
“ජෝර්ජ් ඔෆ් ද ජන්ගල්” ඇමරිකන් ෆිලුමක්. මුලින්ම තිරගත වුනේ 1997 ජුලි 16. ධාවන කාලය මිනිත්තු 92 යි. Action, Adventure, Romance, Comady ගණයට තමයි අයිති වෙන්නෙ. IMDb අගය 5.5/10 ක්ද, Rotten Tomatoes අගය 57% ද, Google පරිශීලකයන්ගේ කැමැත්ත 90% ද ලබාගෙන තියෙනවා. Jay Ward ගේ කාර්ටූන් චරිතයක් පාදක කරගෙන තමයි මේ ෆිලුම නිර්මාණය කරලා තියෙන්නේ. මේක එක්තරා ආකාරයක ටාර්සන් චරිතය අනුසාරයෙන් නිර්මාණයකල ප්‍රහසනයක් කිව්වොත් නිවැරදියි. සුප්‍රකට වෝල්ට් ඩිස්නි සමාගමේ නිෂ්පාදනයක්. ප්‍රධාන චරිතයෙන් දායක වන්නේ අදටත් ජනප්‍රිය දක්ෂ නලුවෙක්. Mummy සහ Journey to the Center of the Earth වැනි චිත්‍රපටවලින් ඔබ හමුවට ආ Brendan Fraser. ඔහු සමඟ රංගනයෙන් එකතුවුනා Leslie Mann සහ Thomas Haden. මේකෙ සංගීත නිර්මාණය කලේ Marc Shaiman. ඒ ගැන නම් නොකියම බෑ. ඒ තරම් පට්ටම පට්ට සුපිරි නාද සංකලනයක්. ඔයාලම අහලා බලන්නකෝ. මේ සිනමාපටයේ ගොඩක් නලු නිලියෝ සත්තු. ඒ සඳහා ඇත්තම සතුන් උපයෝගී කරගෙන ඇති අතර එම දර්ශන කැමරා ප්‍රයෝග සහ පරිගණක තාක්ෂණයෙන් වැඩිදියුණු කර ඇත. ප්‍රධාන වානර චරිතය වන ඒප්ගේ චරිතය සම්පූර්ණයෙන්ම වානර ඇඳුමක් දමාගෙන කල රඟපෑමකි. එහි හිසෙහි ක්‍රියාකාරකම් සිදුකලේ දුරස්ථ පාලකයකින් බව කියැවේ. එසේම මෙය ආදායම අතින්ද සාර්ථක නිර්මාණයකි. ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇ.ඩො.මිලියන 174.4 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර එම වසරේ George of the Jungle දෙවෙනි වූයේ විල් ස්මිත් රඟපෑ Men in Black සිනමා පටයට පමණි.
Brendan Fraser & Leslie Mann
කතාව මෙහෙමයි. අප්‍රිකාවේ මහා ඝන කැලයකදී අනතුරකට පත්වූ ගුවන් යානයකින් කැලේට විසිවෙන කිරි දරුවෙක් වානරයින් විසින් ඇති දැඩි කරනවා. පසුව හොඳ හැඩි දැඩි, ශක්තිවන්ත සික්ස් පැක් තරුණයෙක් වෙලා, කැලේ රජු බවට පත්වෙනවා. ඔහු නමින් ජෝර්ජ්. අපේ, වනාන්තරයේ ජෝර්ජ්. ඔහුට ඉන්න එකම යාලුවෝ තමයි කැලේ සත්තු. ඔය අතරෙ කැලේ සංචාරයක ආපු තරුණියක්, උර්සුලා ස්ටෑන්හෝප්, සිංහයෙකුට මැදිවූ අවස්ථාවක ජෝජ් විසින් බේරාගෙන ඔහුගේ ගස් ගෙදරට අරන් යනවා. ඒ කියන්නෙ ගහක හදපු නිවසක්. එහිදී දෙන්නා හොඳ මිතුරන් වෙනවා. උර්සුලා ජෝර්ජ් සමඟ කැලේ පුරාම ඇවිදිනවා. ජීවිතේ හොඳට සතුටු වෙනවා. ඔය අතරේ උර්සුලා හොයාගෙන එන, ඇය විවාහ වෙන්න ඉන්න ලයිල් වෑන් ඩි ගෘට් [ කියන්න අමතක වුනා.. උර්සුලාව සිංහයට අහුවුනු වෙලාවෙ මෙයා ඔක්කොටම කලින් පැනලා දුවනවා.] අතින් ජෝර්ජ්ට වෙඩි වදිනවා. ප්‍රතිකාර සඳහා උර්සුලා ජෝර්ජ්ව අමෙරිකාවට අරන් යනවා. ජීවිත කාලය පුරාම කැලේ හිටපු, සතෙක් වගේ හැදුණු ජෝර්ජ් නගරයට ආවහම කොහොමට හිටීවිද? ජෝර්ජ් කැලේ හිටියත් නගරේ හිටියත් සිනා සාගරයක්ම තමයි. ඔය අතරෙ තවත් කණ්ඩායමක් ජෝර්ජ්ගෙ ළඟම යාලුවා වන වානර ඒප්ව පැහැරගන්නවා, ලාස් වේගාස් වල සංදර්ශනය වලට යොදාගන්න. ජෝර්ජ්ගේ විශ්වාසී ටුකී-ටුකී කුරුල්ලා දුර ගමනක් ගෙවාගෙන සැන් ෆ්රැන්සිස්කෝ වලට පියාඹා ඇවිත් ඔහුට බ්‍රේකින් නිව්ස් එක දෙනවා. තමාගෙ සහෝදර වානර ඒප් බේරාගැනීමේ මෙහෙයුම සඳහා නැවත අප්‍රිකාවට ඒමට ජෝර්ජ් ඒ රාත්‍රියේම නගරෙන් පිටවෙනවා. ජෝර්ජ් ආපසු ගොස් ඇති උදෑසන දැනගන්නා උර්සුලාට තෙරුම් යනවා තමන් ජෝර්ජ්ට ආදරය කරන බව. ඇයත් ජෝර්ජ් සොයාගෙන අප්‍රිකාවට යනවා. ජෝර්ජ්ට වෙඩි තැබීම නිසා හිරේ සිටිනා, අපේ මෝඩ දුෂ්ටයා, ලයිලුත් හිරෙන් පැනලා කුලී සෙබලු ටිකකුත් අරගෙන, ඔවුන් සොයාගෙන වනාන්තරයට එනවා.
ඉතුරු ටිකනම් මෙහෙම කියන්න අමාරුයි. ලියන්න වචනත් නෑ. ඒ නිසා ඉතුරු ටික අපේ ඇස් වලින්ම බලාගන්න, අප්‍රිකාවේ හදවතේ ඝන කැලෑවක පිහිටි “බුකුවු” රාජධානියට යමු නේද? වැඩි වෙලා යන්නෙ නෑ. ඉළ ඇදෙන ෆයිට්, ඇස් අන්ධවෙන සිනා, ඇඟ කිළිපොලා යන ප්‍රේම ජවනිකා වලින් සපිරි විනාඩි 92 ක් විතරයි. 18+ සීන් දශමයක් වත් නෑ. පවුල් පිටින් පැමිණෙන්න. එහෙනම් ජෝර්ජ්ගේ ගස් ගේ (Tree House) ගාවදි හමුවෙමු. වරද්දන්න එපා. ජය වේවා!
සබ් එක හදල තියෙන්නෙ BR කොපියට. George.Of.The.Jungle.1997.720p.WEBRip.x264-[YTS.AM] කියන WEBRip කොපියටත් මෙම උපසිරැසි ගැලපෙන බවත් මතක් කරමි.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. Van Dammeගෙ JCVD කියල තියනව නේද film එකක් (පොරගෙ නමත් ඒකමනෙ) ඒකට සබ් දෙනවද බ්‍රෝ තව සුපිරි ඒවා තියනව Van Dammeගෙ ඒවටත් සබ් දෙන්න පුළුවන් නම් 😊😊
අම්මෝ දෙවියෙක් නෙවෙයි …දේවාලයක් …මම මේ ෆිල්ම් එක හෙව්වා ගොඩාක් කල් එත් නම මතක තිබ්බේ නැහැ නේ
පට්ට සතුටුයි ලොක්කා. ඔයාගෙ වචන ටික ලෝකයක් වටිනවා. ෆිල්ම් එක බලන්න. සබ් එකට මන් මගේ උපරිමය කලා.