Dacoit: A Love Story (2026) Sinhala Subtitle
ආදරය පාවාදීමකින් පටන්ගෙන, පලිගැනීම සහ අනපේක්ෂිත දෛවයේ හැරවුම් ලක්ෂ්‍යයන් මැද දෝලනය ආවේගශීලී සිනමා අත්දැකීමක් Dacoit: A Love Story.
.
පහළ සමාජ තලයක තරුණයෙක් වන හරි Hari සහ ධනවත් පවුලක සරස්වතී Saraswati අතර ඇතිවන දැඩි බැඳීමක් ද්‍රෝහිකමක් නිසා කඩා වැටෙනවා. වසර 13 කට පසු හිරෙන් පැන යන Hari, තමන්ගේ තරුණ ජීවිතය විනාශ කළ එකට පළි ගන්න චේතනාවෙන් මංකොල්ලයකට අත ගසද්දී, ආදරය, වෛරය සහ සත්‍යය අතර මායිම බොඳ වෙනවා.
.
Dacoit: A Love Story කියන්නේ ආදරය, ද්‍රෝහීවීම්, වරද, සහ පසුතැවීම් කලවම් කරපු හිත කළඹන කතාවක්. එහි අන්තර්ගත වන අනපේක්ෂිත හැරවුම් ලක්ෂ්‍යයන් බොහොම ආකර්ෂණීයයි. විශේෂයෙන්ම කතාවේ අවසානය, එහෙමත් නැත්නම් climax එක මුළු නිර්මාණයේම දකින්න ලැබෙන ලොකුම සාධනීය පැත්තක් විදිහට හඳුන්වන්න පුළුවන්.
.
ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වන Mrunal Thakur ඇත්තටම තමන්ගේ චරිතය ඉතාමත් විශිෂ්ට අයුරින් රඟපානවා. මෘනාල්ගේ රංගනය සම්පූර්ණ චිත්‍රපටයම උස්සගෙන යනවා කියලා කියන්න පුළුවන්. Juliet/Saraswati කියන චරිතයේ දුබලකමයි, වගකීමුයි, අභිරහසයි ඔක්කොම සමබර කරලා මෘනාල් දෙන රංගනය නියමයි. ප්‍රධාන නළුවා වන Adivi Sesh, Hari විදියට මැනවින් හසුරුවන ලද, ගැඹුරු රංගනයක් දෙනවා.
.
ඒත් චිත්‍රපටයේ අඩුපාඩු නැත්තෙම නෑ. කතාවට ඇතුළත් කරලා තියෙන සටන් ජවනිකා එතරම් රසවත් නැහැ, ඒවා බොහොම කෘතිම සහ අනවශ්‍ය දේවල් විදිහටයි දැනෙන්නේ. නූතන තාක්ෂණය දියුණු මේ වගේ යුගයක මෙහි පෙන්වන පොලිස් පරීක්ෂණ සිදුවන ආකාරය ද යථාර්ථයෙන් සෑහෙන්න ඈතයි. සංගීතයෙ සහ සිනමාකරණයෙ කැපී පෙනෙන දෙයක් නෑ මට නම්.
.
කථාවෙ තැනින් තැන තියන ට්විස්ට් නිසා ප්‍රේක්ෂකයාව එක දිගටම රඳවාගෙන ඉන්න පුළුවන් වුනත්, සමහර දේවල් අතාත්විකයි වගේ. ඇයි මංකොල්ල කන්න රෝහලක්ම තෝරගන්නෙ වගේ තර්කානුකූල නොවෙන තැන් තිබුනා. සරස්වතීටගේ තත්ත්වයත් එක්ක ඇය කරන ක්‍රියාකාරකම් තාත්විකද කියන ප්‍රශ්නය අන්තිමට ඉතුරු වෙනවා. ප්‍රවීණ නළු Prakash Raj, Anurag Kashyap වගේ දක්ෂයෝ ඉද්දිත් ඔවුන්ගෙන් ප්‍රයෝජන අඩුයි කියල හිතුනා.
.
මේ චිත්‍රපටයෙන් පෙන්නන්නේ මිනිස් හිත කොච්චර සංකීර්ණද කියන එක. ජීවිතයේ මුහුණ දීමට සිදුවන දරුණු කඩාවැටීම් සහ ආදරය අහිමි වීම් හමුවේ මිනිස් හිත් ක්‍රියා කරන්නේ එකිනෙකට වෙනස් ආකාරයටයි. Hari ගේ හිරගත වීම එයාගේ අහිංසකකමේ අවසානය සහ ආදරය ගැන තිබ්බ විශ්වාසය දිරාපත් වීම සංකේතවත් කරනවා. හිරෙන් එළියට එනකොට එයාට ඉතුරු වෙලා තියෙන්නේ කේන්තිය සහ පළිගැනීම විතරයි. අපි කාට හරි වරදක් කළාම හරි, අපිට වරදක් වුණාම හරි අපිට දැනෙන පශ්චාත්තාපය, කේන්තිය, පළිගැනීමේ චේතනාව අපේ සැබෑ ස්වරූපය විකෘති කරන හැටි Dacoit හොඳට පෙන්නනවා.
.
වැරදි වැටහීම් සහ ආත්ම අභිමානය නිසා මිනිසුන් අතර තියෙන ශක්තිමත් සබඳතා බිඳී යන ආකාරයත්, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න මිනිස් සිත පෙළඹෙන ආකාරයත් මේ චරිත දෙස බලද්දී අපට වටහාගන්න පුළුවන්. ආදරය සහ පළිගැනීම අතර මායිම කොච්චර ඉක්මනට බොඳ වෙනවද, කම්පනයකින් පස්සේ මනුස්සයෙක් තමන්වම අලුතෙන් හදාගන්න දඟලන හැටි මෙතන තියෙනවා. “කෙනෙක්ව විනිශ්චය කරන්න කලින් එයාගේ පැත්ත අහන්න ඕන” කියන පණිවිඩය කතාව ඇතුළෙන් එනවා. අපේ ජීවිතවල ගන්නා සමහර තීරණ, පසුව මුළු ජීවිත කාලයටම බලපාන හැටි තේරුම් ගන්න මේ වගේ කතා උපකාරී වෙනවා.
.
මගේ රේටින් එක 7.2/10 හේතුව රංගනයන් සහ අවසාන කොටසේ තියෙන හැඟීම්බර ගැඹුර. කතාව හොඳයි, twist ටිකත් හොඳට වැඩ කරනවා. නමුත් සමස්තයක් විදියට මේක ඕවර් රේටඩ් වගේ දැනෙනවා. (IMDB 7.9).
.
සටන්-පෙම් කතා, අළු-සුදු නොවන චරිත වලට කැමති අයට, කුතුහලයෙන් පිරුණු twist වලට, සහ හැඟීම්බර අවසානයන් නැරඹීමට ප්‍රිය කරන ඕනෑම කෙනෙකුට Dacoit ගැලපෙනවා. ප්‍රේමාන්විත කථාවක්, යථාර්තවාදී අපරාධ කතාවක් බලාපොරොත්තු වෙනවා නම් ටිකක් කලකිරෙන්න පුළුවන්. මේක “එක පාරක් බලන්න පුළුවන්” චිත්‍රපටියක්.